Tuesday, February 18, 2014

දෙවියන්ගේ ද්වාරය හරහා සෘෂිකේශියට 

උත්තර ප්‍රදේශය හරහා වැටි ඇති මේ මග ඔස්සේ බස්රථය ඇදෙන්නේ හිමාලය ආශ්‍රිත උත්තර ඛණ්ඩය බලාය. බස්රථයේ ගමන අවසාන වන්නට නියමිතව ඇත්තේ සෘෂිකේශි නගරයෙනි.ඒ සඳහා තව කොපමණ දුරක් ගෙවිය යුතුද කොපමණ කාලයක් ගතකල යුතුද යන්න මම නොදනිමි. මේ ගමන යා යුතුව ඇත්තේ වෙහෙස, නිදිමත, බසයේ දුෂ්කර කම යන මේ සියල්ල විඳදරා ගනිමිනි. එය එසේ වුවද මේ අන්ධකාරය නොවිනි නම් ඇස ගැටෙන දසුන් අතිශයින්ම නෙත්කළුය. සිත්කළුය. ඇළදොළ, පොකුණු, ගහකොළ, කෙත්වතු, එළු, ගව, බැටළු රැළ ඒ අතර වෙති. මේ ප්‍රදේශය වනාහි එදා මෙදා තුර භාරතය සමෘධිමත් කළ, සශ්‍රීක භූමිභාග වලින් එකකි. කෘෂිකර්මය පදනම්කොටගත් මේ ජනපද වල ජනජීවිතයේ නොයෙකුත් අවශ්‍යතා ඉටුකරන අනේකවිධ කර්මාන්තද මෙහි වෙයි.

බස්රථය එක් අවස්ථාවක කුඹල් කාර්මිකයන්ගේ ජනපදයක් මැදින් ගමන් කරමින් තිබිණ.එය කුඹල් ගමක් බව හඳුනාගත හැක්කේ රැයේ ඇවිලෙන, වලන් දැවෙන පෝරණු නිසාවෙනි. මීට පෙරද පසුවද මා භාරතයේ කුඹල් ගම් දැක ඇත. වරෙක මම කුඹල් ගමක දින කීපයක් ගතකළෙමි.එයින් එක් රැයක් පහන් කළේ කුඹල් හලකය. රෙදි වලට පසු මිනිසාට අවශ්‍ය භාණ්ඩය වන්නේ වළඳයි. කෝටි සංක්‍යාත ජනකායක් වෙනුවෙන් වළන් නිපදවීමද සුළුපටු දෙයක් නොවේ. ඒ නිසාම භාරතයේ කුඹල් ගම් නොව කුඹල් පුරවරයන්ද දැකිය හැකිය. අතීතයේද කුඹල් ගම් හා සංචාරක පැවිද්දන් අතර විශේෂ සබැඳියාවක් පැවතිණ. බස්රියක් තුළ ගෙවන මේ රාත්‍රියේ ඒ පිලිබඳ කල්පනා කරමින් සිටියේ බුද්ධ චරිතයේද සුවිශේෂී අවස්ථාවක් කුඹල්හලක් හා බැඳී පවතින බැවිණි. ඒ පුක්කුසාති පිළිඹඳ කතාවයි.

No comments:

Post a Comment