දෙවියන්ගේ ද්වාරය හරහා සෘෂිකේශියට
බස්රථය එක් අවස්ථාවක කුඹල් කාර්මිකයන්ගේ ජනපදයක් මැදින් ගමන් කරමින් තිබිණ.එය කුඹල් ගමක් බව හඳුනාගත හැක්කේ රැයේ ඇවිලෙන, වලන් දැවෙන පෝරණු නිසාවෙනි. මීට පෙරද පසුවද මා භාරතයේ කුඹල් ගම් දැක ඇත. වරෙක මම කුඹල් ගමක දින කීපයක් ගතකළෙමි.එයින් එක් රැයක් පහන් කළේ කුඹල් හලකය. රෙදි වලට පසු මිනිසාට අවශ්‍ය භාණ්ඩය වන්නේ වළඳයි. කෝටි සංක්‍යාත ජනකායක් වෙනුවෙන් වළන් නිපදවීමද සුළුපටු දෙයක් නොවේ. ඒ නිසාම භාරතයේ කුඹල් ගම් නොව කුඹල් පුරවරයන්ද දැකිය හැකිය. අතීතයේද කුඹල් ගම් හා සංචාරක පැවිද්දන් අතර විශේෂ සබැඳියාවක් පැවතිණ. බස්රියක් තුළ ගෙවන මේ රාත්‍රියේ ඒ පිලිබඳ කල්පනා කරමින් සිටියේ බුද්ධ චරිතයේද සුවිශේෂී අවස්ථාවක් කුඹල්හලක් හා බැඳී පවතින බැවිණි. ඒ පුක්කුසාති පිළිඹඳ කතාවයි.